2023 ජුලි 15 වන සෙනසුරාදා

තරුණ අසහනයෙන් සහ ‍යොවුන් ප්‍රේමයෙන් උපන් නිම් වළල්ල

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 84

 පාසල් සිසුන් හැදූ පළමු සහ එකම සිංහල චිත්‍රපටය 

මෙරට පළමුවන සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වූයේ 1947දීය. එය පළමු සිංහල චිත්‍රපටය වූවා සේම පාසල් සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද පළමු හා එකම සිංහල චිත්‍රපටය වූයේ 1970 දී රන්ජිත් ලාල් අධ්‍යක්ෂණය කළ නිම්වළල්ලයි. තරුණ අසහනය, සමාජ ස්ථරයන්හි නොගැලපීම හා යොවුන් ප්‍රේමය පදනම් කර ගනිමින් නිර්මාණය වූ නිම්වළල්ලට මේ වන විට වසර 52ක් පිරී තිබේ.

52 වසරකට ඉහත හැදූ නිම්වළල්ල කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසකගේ නිර්මාණයකි. එහි අපූරු කතාවක් තිබේ. රන්ජිත් ලාල්, ප්‍රේමකීර්ති ද අල්විස්, ආතර් නම්මුනි ද සොයිසා, චන්ද්‍ර ශ්‍රී මුදන්නායක, ආනන්ද නිලවීර හා ඒ. ඩී. රන්ජිත් කුමාර ආනන්දයේ එකට උගත් සිසුවෝය. පාසල් සමය තුළ කෙසේ හෝ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ උණක් ඔවුනට වැළදී තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ‘වෙර‘ නමින් කෙටි චිත්‍රපටයක් බිහි වීමය. එහි කතාව ලියා තේමා ගීතය රචනා කළේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. රන්ජිත් ලාල් එහි අධ්‍යක්ෂවරයා වූ අතර ගායනයෙන් හා සංගීත නිර්මාණයෙන්ද එයට දායක විය. එහි කලා අධ්‍යක්ෂවරයා ඒ. ඩී. රන්ජිත් කුමාර වූ අතර ඩිල්මන් ජයරත්න කැමරාකරණයෙන් එක් විය. එම චිත්‍රපටයෙන් නිරූපණය වූයේ කම්කරුවන් හා පීඩිතයන් පිරිසකගේ ජීවන අරගලයයි.

''වෙර'' අධ්‍යක්ෂණයෙන් පන්නරය ලද රන්ජිත් ලාල්ගේ ඊළග අරමුණ වූයේ කෙසේ හෝ වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමය. ඒ සදහා සුදුසු කතාවක් ලියන ලෙසට තම මිත්‍ර සුනිල් මාධව ප්‍රේමතිලකට බාර දුන්නේය. ප්‍රවීණ මාධ්‍යවේදී මීමන ප්‍රේමතිලකයන්ගේ පුත්‍රයාවූ ඔහු එවක ආනන්දයේ ඉගෙනුම බලමින් සිටි අතර පාසල් අධ්‍යාපනය ලබන සමයේ සිටම ''සිළුමිණ'' පුවත්පතේ ලේඛකයකු ලෙසද කටයුතු කළේය. සුනිල්ගේ කතාවට තේමාව වූයේ තරුණ අසහනය, ප්‍රේමය හා සමාජ අසාධරණයයි. ඔහුගේ කතාව ඇසුරින් තිරනාටකය රචනා කළේ  ආනන්දයේම සිසුවකු හා පසුව දක්ෂ මූර්ති ශිල්පියකු වූ අසෝක ඩයස් වීරසිංහය. ඒ.ඩී. රන්ජිත් කුමාර කලා අධ්‍යක්ෂවරයා විය.

චිත්‍රපට උණෙන් සිටි මේ කොලු රුළට වෙනත් පාසල් දෙකක ශිෂ්‍යයන් දෙදෙනෙක්ද එක්ව සිටියහ. ඉන් අයෙක් කෑගලු මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඩිල්මන් ජයරත්නය. අනෙක් සිසුවා නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි සුනිල් ආරියරත්නය. ඩිල්මන් කැමරා අධ්‍යක්ෂණයෙන්ද, සුනිල් අාරියරත්න ගීත රචනයෙන්ද, නිම් වළල්ලට එක් වූහ. ඒ වන විට ප්‍රේමකීර්ති ද අල්විස් ආනන්දයෙන් සමුගෙන් ගුවන් විදුලියට එක්ව සිටි බැවින් ඔහුට එම චිත්‍රපටයට සම්බන්ධ වීමට නොහැකි විය. චිත්‍රපටය නම් කෙරුණේ ‘යළිත් වසන්තය‘ ලෙසිනි. පසුව එය නිම්වළල්ල‘ බවට පත් විය. සිරිසේන විමලවීරයන්ගේ නව ජීවන චිත්‍රාගාරයේ රෑ ගත කළ අවසන් චිත්‍රපටය වූයේ නිම්වළල්ලය.

චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම හා කළමනාකාරීත්වය බාර වූයේ ආතර් නම්මුනි ද සොයිසාටය. චන්ද්‍ර ශ්‍රී මුදන්නායක ඔහුගේ සහය කළමනාකරු විය. සහාය අධ්‍යක්ෂවරුන් ලෙස  කටයුතු කළේ පසුකලෙක ලේක්හවුසියේ සභාපති වූ බන්දුල පද්මකුමාර හා ආනන්ද නිලවීරය. සංස්කරණය එවක සාන්ත ජෝසප් විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ලාල් දිසානායකට පැවරිණි. සත් සමුදුර, වෙස්ගත්තෝ වැනි චිත්‍රපට නිෂ්පාදනය කළේ ලාල්ගේ පියා වූ දොස්තර ලීනස් දිසානායකය. එහෙයින් පාසල් අවධියේ සිටම ලාල්ටද සිනමාව පිළිබද මනා අවබෝධයක් තිබිණි. ආනන්දයේ තවත් සිසුන් දෙදෙනකු වූ මහින්ද අල්ගමට (පසු කලෙක චන්ද්‍ර මඬුලු යට සුරංගනාවෝ, රුක් අත්තන මල මුදුනේ වැනි ගීත රචනා කළේ ඔහුය) ගීත රචනයත්, පසු කලෙක දෙසතිය සඟරාවේ සංස්කාරකවරයා හා ප්‍රවීණ ගීත රචකයකු වූ ගාමිණී විජේතුංගට ප්‍රචාරක කටයුතුත් බාර විය. මහින්ද රචනා කළ ''නිසයුරු මුතුලැල්'' ගීතය ගැයුවේ සී ටී ප්‍රනාන්දු විසිනි.

පාසල් සිසුන්ගේම තේමාවක් ඇසුරින් නිර්මාණය වූ නිම්වළල්ලේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ජානකී කුරුකුලසූරිය, ස්වර්ණා මල්ලවාරච්චි, රුක්මණී දේවි, සිරිල් වික්‍රමගේ, පියදාස ගුණසේකර, දේවිකා කරුණාරත්න සහ ජේ.බී.එල්. ගුණසේකරය. ඔවුනට අමතරව, එවක ආනන්දයේ සිසුන් වූ නිමල් හෙට්ටිආරච්චි, (පසුව මහාචාර්ය) රත්නසිරි රාජපක්ෂ, (පසුව කොළඹ නගරාධිපති) නාලන්දයේ ශිෂ්‍යයකු වූ තිස්ස විජේසුරේන්ද්‍ර සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී සිසුවකු වූ අමරසිරි කලංසූරිය යන පිරිසද රංගනයෙන් දායක වූහ..

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

නිම්වළල්ල බලන්න ආ සිරිමාවෝ.... 

කියවමු මීළඟ හදසර සිනමා කලාපයෙන්